ලංකාවේ පළල්ම දියඇල්ල සොයා ගිය සොඳුරු සංචාරය: බෝඹුරු ඇල්ල (Bomburu Ella)

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික් මායිමේ, කඳුකරයේ ලස්සනම තැනක සැඟවිලා තියෙන බෝඹුරු ඇල්ල කියන්නේ ලංකාවේ පළලින් වැඩිම දියඇල්ලයි. ගොඩක් අය මේකට 'පේරවැල්ල ඇල්ල' කියලත් කියනවා. ඉතින් ELY Family අපි පහුගිය දවසක මේ සොඳුරු දියඇල්ල බලන්න පුංචි ට්‍රිප් එකක් ගියා.




​බෝඹුරු ඇල්ලේ නමේ කතාව සහ විශේෂත්වය

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වෙන 'දුල්ගල ඔය' ගල් තලාවකින් කොටස් කිහිපයකට බෙදිලා, කුඩා දියඇලි එකතුවක් විදිහට තමයි මේ අපූරු දියඇල්ල නිර්මාණය වෙන්නේ. උසින් මීටර් 50ක් විතර වෙන මේ ඇල්ලේ පළල මීටර් 20ක් විතර වෙනවා.

​මේ ඇල්ලට 'බෝඹුරු' කියන නම හැදුණු හැටි ගැනත් ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා. දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේ කුලප්පු වෙලා දම්වැල් කඩාගෙන දුවපු ඇතෙක්ව බෝ ගසක් අසලදී අල්ලලා බැඳගත්ත නිසා මේ ප්‍රදේශයට 'බෝමුලේ' කියලා කියන්න පටන් අරන් තියෙනවා. පස්සේ කාලෙක ඒ නම 'බෝඹුරේ' වෙලා, අන්තිමට බෝඹුරු ඇල්ල බවට පත්වුණා කියලයි පැරණි අය කියන්නේ.

​කොහොමද බෝඹුරු ඇල්ලට යන්නේ?

බෝඹුරු ඇල්ල පිහිටලා තියෙන්නේ ඌව-පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරවැල්ල ගම්මානයේ, සීතා එළිය - කඳපොළ රක්ෂිතය ඇතුළේ. වැලිමඩ නගරයේ සිට මෙතැනට ඇත්තේ කිලෝමීටර 15ක් පමණයි. මෙතැනට එන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් මෙන්න:

​වැලිමඩ සිට (පහසුම පාර): වැලිමඩ නගරයේ ඉඳන් උඩුහාවර හරහා බෝමුරුඇල්ල ජනපදයට (පේරවැල්ල ගමට) එන්න පුළුවන්. වැලිමඩ බස් ස්ටෑන්ඩ් එකෙන් විනාඩි 30න් 30ට "බෝඹුරු ඇල්ල" හෝ "පේරවැල්ල" බස් ධාවනය වෙනවා.

​නුවරඑළිය සිට: නුවරඑළිය - බදුල්ල පාරේ හග්ගල පසුකරලා, රේන්දපොල හන්දියෙන් වමට හැරිලා ඌව පරණගම සහ උඩුහාවර හරහා පේරවැල්ල ගමට එන්න පුළුවන්. උදේ කාලයේදී නුවරඑළියෙන් කෙලින්ම බෝඹුරු ඇල්ලට බස් තියෙනවා.

​කෝච්චියේ එනවා නම්: උඩරට මාර්ගයේ නානුඔය ස්ටේෂන් එකෙන් බැහැලා, එතනින් නුවරඑළියට ඇවිත් බෝඹුරු ඇල්ල බස් එකකට ගොඩවෙන්න පුලුවන්.

 . 

අපේ ගමනේ අත්දැකීම සහ වැදගත් උපදෙස්

පේරවැල්ල ගමට ආවට පස්සේ දියඇල්ල පාමුලට යන්න කිලෝමීටර් 2-3ක් විතර පයින් යන්න ඕනේ. පාර ටිකක් කඩතොලු වුණාට දෙපැත්තේ තියෙන තේ වතු, කුඩා දියපාරවල් සහ පරිසර සිරිය නිසා මහන්සියක් දැනෙන්නේ නැහැ. දියඇල්ල ළඟට යද්දීම හුළඟත් එක්ක මුහුණට වැටෙන සිසිල් දියබිංදු වලින් මුළු මහන්සියම නැතිවෙලා යනවා.





ඔබත් මෙහෙ යනවා නම් මේ ටික අනිවාර්යයෙන් මතක තියාගන්න:

​පරිස්සම් වෙන්න: දියඇල්ල පාමුල ඇතැම් තැන් ගොඩක් ගැඹුරුයි. ලිස්සන සුළු නිසා නාද්දී පරිස්සම් වෙන්න.

​පරිසරය රකින්න: ප්ලාස්ටික්, පොලිතීන් හෝ කසළ කිසිවක් එතැන දාලා එන්න එපා.

​උදෙන්ම යන්න: උදේ වරුවේ ගියොත් සෙනඟ අඩුවෙන් නිදහසේ පරිසරය විඳින්න පුළුවන්.

Post a Comment

0 Comments